ශ්‍රී ලංකාවේ භාවිතා නොවන රුධිරය එකතු කිරීමේ උපකරණත් හමුවෙයි


ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසියේද සහාය ඇතිව ගතවූ පැය 24ක් තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් ජාතික තවූහීද් ජමාත් සංවිධානයේ කමිස, බැංකු රිසිට් සහ ශ්‍රී ලංකාවේ භාවිතා නොවන රුධිරය එකතු කිරීමේ උපකරණ තොගයක් සොයාගැනීමට පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීහු සමත් ව සිටිති. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සටහන් වේ.

මෙම මෙහෙයුම්වලින් සැකකරුවන් 120 ට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි කරන ලද විශේෂ මෙහෙයුම්වලින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, සහ වෙනත් යුද උපකරණ රැසක් සොයාගැනීමට හැකිවී ඇත.

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 11 වන සේනාංකයේ භට පිරිස් මහනුවර, නාවලපිටිය, ගම්පොළ, පේරාදෙණිය, අකුරණ, කටුගස්තොට, මඩවල සහ අනෙකුත් ප්‍රදේශයන්හි හදිසි මෙහෙයුම් කටයුතු සිදුකර තිබේ.

11 වන සේනාංකයේ භට පිරිස් විසින් සිදුකරන ලද හදිසි මෙහෙයුම් වලින් නිවාස 603 ක් පරීක්‍ෂා කර සැකකරුවන් 27 දෙනෙකු සහ කඩු 02 ක්, පතුරම් 10 ක්, වායු රයිෆලයක්, ආරක්‍ෂිත ෆියුස් 03 ක්, ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ පොත්පත් සහ ලියකියවිලි, ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ බැනර් 04 ක්, ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් කමිස 17 ක්, ජාතික තවුහීද් ජමාත් සංවිධානයට බඳවා ගැනීමේ අයදුම්පත් 05ක්, ව්‍යාජ උප්පැන්න සහතික 06ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 06 ක්, ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 11 ක්, ව්‍යාජ වාහන අංක තහඩු 11 ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, සැක කටයුතු බැංකු රිසිට්පත් 06 ක්, ජංගම දුරකථන 16 ක්, සිම්පත් 18 ක්, මෙමරි කාඩ්පත් 03 ක්, යතුරු පැදියක්, ජාතීක තවුහීඩ් ජමාත් සංවිධානයට අයත් සංයුක්ත තැටි 76 ක්, වීඩියෝ කැමරා 04 ක්, පටිගත කිරිම් යන්ත්‍ර 15 ක්, එක් බොයිලේරුවක් සහ ශ්‍රී ලංකාවේ නොමැති රුධිරය එකතු කිරිමේ සිරින්ජර් පෙට්ටි 02 ක් (එකක 600 ක් බැගින්) සොයාගෙන ඇත.

එමෙන්ම නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය නැවතත් යුද හමුදාව සහ පොලිසිය සමග එක්ව සමන්තුරෙයි ප්‍රදේශයේ තවත් විශාල සෝදිසි මෙහෙයුමක් දියත් කර එහිදි දුරදක්නයක්, පතොරම් තුවක්කු 2ක්, තුවක්කු උණ්ඩ 23 ක්, හිස් පතොරම් උණ්ඩ 10 ක්, වයර් බුරුසු 04 ක්, තුවක්කු පිරිසිදු කිරිමේ උපකරණයක් (cleaning rod) ,මිලිමීටර් 16 උණ්ඩ 28 ක්, යකඩ බෝල 37 ක්, කඩු 04 ක්, පිහි 02 ක් සහ පොරෝ 02 ක් මෙහිදි සොයාගැනීමට හැකිවිය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද - නාවික හමුදා භට පිරිස්, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ පොලිසිය එක්ව පුල්මුඩෙයි ප්‍රදේශයේ හදිසි මෙහෙයුමක් දියත් කළ අතර එහිදී ඩෙටනේටර් 89 ක්, අගල් 16 ක දිගින් යුත් ඩෙටනේටර් සේවා නූල් 32 ක් , ජෙල් දියර ටියුබ් 8 ක්, ඩෙටනේටර් චාජ් 2 ක් සහ තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනාව යටතේ පාලනය වන 20 වන ගජබා රෙජිමේන්තුවේ යුද - නාවික හමුදා, විශේෂ කාර්යය බලකාය සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම ප්‍රදේශයේ වැටලීම් කටයුතු කර ඇත.
 
මේ අතර, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ පාලනය වන 143 බලසේනාවේ යුද හමුදාව විසින් පැය 48 ක කාලයක් තුළ හදිසි සෝදිසි මෙහෙයුම්වල නිරත වෙමින් කුරුණෑගල, වාරියපොල, හලාවත, වනාතවිල්ලුව, පුත්තලම, මදුරන්කුලිය, ඉරණවිල, එළුවන්කුලම් සහ ගල්ගමුව යන ප්‍රදේශවලින් සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මදුරන්කුලිය ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී සාප්පුවක සඟවා තිබූ වාහන අංක තහඩු 04 ක් සොයාගෙන ඇති අතර මෙම අංක තහඩු ළඟ තබා ගැනීමට හේතුව අනාවරණය කරගත නොහැකි වු දෙදෙනෙකු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ හා සමානව යුද හමුදා භට පිරිස් විසින් අරාබි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  තවත් සැකකටයුතු 4දෙනෙකු සතුව තිබී කඩු 02 ක්, ජංගම දුරකථන කිහිපයක්, පොලිස් නිලඇඳුමින් සැරසුනු ඡායාරූප, අයි.එස්.අයි.එස් වීඩියෝ දර්ශන සහ පොත්පත් රැසක්ද සොයාගත් අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සියලු සැකකරුවන් පොලීසිය වෙත බාරදී ඇත.

හම්බන්තොට ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශයන් 12 වන සේනාංකයේ භට පිරිස් විසින් හදිසි මෙහෙයුම් කටයුතු සිදුකර අතර එහිදි පානීය ජල ළිඳක් තුළ සඟවා තබා තිබියදී කඩු 02 ක් සොයාගෙන ඇත. එසේම මොණරාගල හා හම්බන්තොට ප්‍රදේශවල සිදුකරන ලද හදිසි මෙහෙයුමකින් යුද හමුදා නිලඇඳුමක්, කඩු 02 ක් සොයාගෙන ඇත.

 

 8 වන ගැමුණු හේවා බලකායේ භට පිරිසකට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මොණරාගල ප්‍රදේශයේ ජුම්මා මුස්ලිම් පල්ලියකට ඇතුලුවී  අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් පොත්පත් රැසක් සහ වෙස්වළා ගන්නා වර්ණ වලින් පින්තාරු කරන ලද කැබ් රථයක් සොයාගත් අතර මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු යුද හමුදා භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන මොණරාගල පොලීසිය වෙත බාරදී තිබේ.
 
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 12 වන සේනාංකයට අයත් 121 සහ 122 බල සේනා මුලස්ථානය යටතේ පාලනය වන 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 23 වන ගජබා රෙජිමේන්තුව, 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද හමුදා නිලධාරීන් විසින් මෙම හදිසි ආරක්‍ෂක මෙහෙයුම් වල නිරත වී ඇත.

මේ අතර, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා භට පිරිස් විසින් රාගම, අලුත්ගම, වැලිගම, මොරටුව, කැළණිය සහ තදාසන්න ප්‍රදේශ වල පැය 24 පුරා හදිසි සෝදිසි මෙහෙයුම් සිදකරනු ලබයි.

මේ අතර, 58 වන සේනාංකයේ භට පිරිස් විසින් දර්ගා නගරය, අළුත්ගම, වැලිගම සහ මොරටුව රතු කුරුස නිවාස සංකීර්ණය යන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර එහිදි සිම් කාඩ්පත්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, කඩු, සැකකරුවන් 8 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්‍ෂණ සදහා පොලිසිය වෙත බාරදී තිබේ.