ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ


(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාව සහ  චීනය  අතර  ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටී.සෙන්හොන්ග් මහතා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  දැනුම් දුන්නේය.

ඔහු එම කාරණය  දැනුම් දුන්නේ  ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.

මේ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර තුනක් දක්වා වැඩි කෙරෙනු ඇත.

චීන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් සහ ලබාදීමට අපේක්ෂිත ආර්ථික සහ මානුෂීය ආධාර සම්බන්ධයෙන් තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුවත් කළේය.

චීනයේ අධ්‍යාපන හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව  ලබාදීමටද පියවර ගෙන ඇතැයි තානාපතිවරයා පැවසුවේය.

ද්විපාර්ෂික  වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම   සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

චීන ජනාධිපති  සී ජින් පින් මහතා ඒවා තිබූ විශේෂ පණිවිඩයක් තානාපතිවරයා විසින්  ජනාධිපතිවරයාට බාර දෙනු ලැබීය.

රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට මිත්‍ර රටක් ලෙස චීනය ලබා දෙන සහාය අගය කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.

මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.