ශ්‍රී ලංකාව මානුෂීය අර්බුදයක් අභියස?


(විමුක්ති එස් රුද්‍රිගු)

දශක ගණනාවකින් මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ පූර්ණ මානුෂීය අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉකුත් 10 වෙනිදා ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාව 1948 න් පසුව මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදීලා ඉන්නේ.අපිට බයක් තියෙනවා මෙම අර්බුදය පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය වෙයි කියලා" මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රකාශක ජෙන්ස් ලැර්කි මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනූව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවදානමකට ලක්වූ මිලියන 1.7ක ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජුනි සිට සැප්තැම්බර් කාලය අතරතුර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 47.2ක ආධාර සැපයීමේ සැලස්මක් ඉකුත් 9 වැනිදා දියත් කළේය.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසුවේ ඉහල යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලත් සමග ශ්‍රී ලංකාවේ පවුල් වලින් සියයට 70 ක් දැනටමත් ආහාරයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති අතර සෑම ළමුන් දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට කුමන හෝ ආකාරයේ හදිසි සහායක් අවශ්‍ය බවයි.