ශ්‍රී පාදයේ නම වෙනස් කිරීමට විරෝධතාවයක්


(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කර ඇති බවට පවසමින් නව සිංහලේ ජාතික සංවිධානය, මහා සම්මතවාදි ජාතික පෙරමුණ, දුෂණ විරෝධී බළකාය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුහ.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කර ඇති බවත් එම නම සහිත පුවරුවක් ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කර ඇති බවටත් පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවූහ.

‘‘බෞද්ධ නායකයෙකු සිටින මේ රටේ ශාසනික උරුමයන් අනතුරේ’’, ‘‘ප‍්‍රාදේශීය සභාවේ අත්තනෝමතික තීරණය අහෝසි කරනු’’, ‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්තානය බෞද්ධයන්ට අහිමි වෙයිද’’, ‘‘ලෝක උරුම ශ්‍රී පාදය සභාවකට ඇයි වික්කේ’’ යනාදි වැකි සහ බැනර් ඇතිව පිරිස විරෝධතාවයේ නිරත විය.

පිරිස පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටි අතර ඔවුන් එහිදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී පොලිස් නිලධාරින් මැදිහත් වී විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන් අතර සාකචඡාවෙන් පසුව අදහස් දැක්වූ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප‍්‍රියසාද් මහතා මෙසේ ද කීය.

‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කිරිමට මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ පිරිසක් හදිස්සියෙම පියවර ගෙන තියෙනවා. දැන් එම නම ඇතුළත් පුවරුවකුත් සවි කරලා තියෙනවා. 

මෙම නාම සහ පුවරුව ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් නියෝගයක් ලබා දිලා තියෙනවා. මේ වනතෙක් එම තීරණය පිළිගෙන නාම සහ පුවරුව ඉවත් කරන්න මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව පියවර ගෙන නැහැ. ඒ නිසා තමයි අද අපි බුද්ධශාසන අමාතයාංශය ඉදිරිපිටට ඇවිත් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර වහාම එම පුවරුව සහ නම ඉවත් කරන බවට අපිට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා පොරොන්දුවක් දුන්නා. ශ්‍රී පාදස්තානයට අමතරව තවත් බෞද්ධ සිද්ධස්ථාන රාශියක මෙවැනි දේ සිදුවනවා. ඒ ගැන විෂය බාර අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරොරා මහතා සමඟ සාකච්ඡා කරන්නත් අපි ඉදිරි දිනයක් වෙන් කරගත්තා.

ශ්‍රී පාස්ථානයේ ඇති මෙම නම සහ පුවරුව ඉවත් කිරිමට කටයුතු නොකළහොත් අපි ඉදිරියේ දී දැඩි ක‍්‍රියමාර්ග ගැනීමටත් කටයුතු කරනවා’’ 

ඡායාරූප - ළහිරු හර්ෂණ