(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර ‘මැයි දින’ සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේදී මැයි 1 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයා නියෝජනය කළ හා පක්‍ෂ නිජබිම වන අත්තනගල්ල ප‍්‍රදේශය අයත් වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයට බැවින් මෙවර මැයි දිනය ගම්පහදී පැවැත්වීමට තීරණය කළ බව ප‍්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
මෙවර මැයි රැලිය සංවිධානය කිරීම සඳහා කමිටු කිහිපයක් පත්කර ඇති අතර ප‍්‍රධාන සංවිධාන කමිටුවේ ප‍්‍රධානියා ලෙස පක්‍ෂ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.
එහි ප‍්‍රචාරක කමිටුවේ ප‍්‍රධානියා ලෙස තමන් කටයුතු කරන බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොළඹ, කෑගල්ල, කුරුණෑගල දිස්ත‍්‍රික්කවලින් මේ සඳහා වැඩි පිරිසක් සහභාගී කර ගැනීමට බලාපොරොත්තු වන බව කී මන්ත‍්‍රීවරයා ඊට අමතරව දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකින්ම විශාල ජනකායක් මේ වෙත සහභාගී කරවා ගැනීමට බලාපොරොත්තු වන බව ද කීවේය.
මෙරට කම්කරුවන් වෙනුවෙන් වැඩිම සේවයක් ඉටුකර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සෙසු සියලූ පක්‍ෂවලට වඩා මැයි දිනය සැමරීම ගැන වැඩි අයිතියක් තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී සඳහන් කළේය.

