විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 දා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ නඩුවේ තීන්දුව ලබන අපේ‍්‍රල් 3 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට  අභියාචනාධිකරණය අද (19) දින නියම කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන් ගෙන් යුතු  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම විභාගය අවසන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.

මෙම රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එළිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.

මෙම පෙත්සම් විභාගය අවසන් කොට එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබියදී ඉකුත් 2019 වසරේ අගෝසතු මාසයේදී එම නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැති බව එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාව සිටි යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

ඉන්පසුව මෙම නඩුව  යළි මුල සිටම වෙනත් විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය. ඒ අනුව එම පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළිත් විභාගයට ගැණිනි.

පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.