විදෙස් සංචාරකයන්ට හෙට සිට කටුනායකින්ම වාහන ලයිසන්


(සජීවා කෝට්ටගොඩ)

කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරයි.

සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී කීය.

මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස හෙට සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.

මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.

නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (2) කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.