විජයදාසගේ අභියාචනය තෙවැනි දිනටත් කල්යයි


(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීති විරෝධී බවට තීන්දුවක්  ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ  පැමිණිල්ලට එරෙහිව  ගොනුකළ  අභියාචනා පෙත්සමේ  වැඩිදුර විභාගය ලබන 31 දින සිදුකිරීමට   බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය  අද (22) දින නියම කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ  අභියාචනා පෙත්සම තෙවැනි දිනට විභාගයට ගත් අවස්ථාවේදී මෙසේ දින නියම කෙරිණි .

ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනිණි.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පැමිණිලිකරු  වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා කරුණු දැක්වීය.

කොළඹ දිසා අධිකරණය හමුවේ දිසානායක මහතා ගොනු කර තිබූ පෙත්සමේ විත්තිකරුවන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්  කොළඹ දිසා අධිකරණ බලසීමාවේ පදිංචිකරුවන් නොවන හෙයින් අදාල පැමිණිල්ල යළි සංශෝධනය කර පැවරීම සඳහා දිසා විනිසුරුවරයා විසින් තීරණය කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  මෙම අභියාචනය ගොනුකර ඇත.