වැස්සෙන් ගුවන් ගමන් වලටත් බාධා


(  ටී.කේ.ජී.කපිල  )

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

මෙයින් පළමු ගුවන් යානය වූයේ ඊයේ(4)  රාත්‍රී 10.25 කටුනායක ගුවන් තොටුපළ වෙත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන යානයයි .

මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටියහ .

 එම ගුවන් යානය රාත්‍රී 11.35 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .

මේ වනවිට එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ .

 මීට අමතරව මාලදිවයින මාලේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 104 දරන ගුවන් යානය ඊයේ (4)  දින රාත්‍රී 10.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්වය නිසා අද (05)  දින අලුයම 12.02 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ අතර එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණි .

එහෙත් ඊට ස්වල්ප වේලාවකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වීමත් සමග මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී අද (05) දින අලුයම 01.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .