වැල්ලවත්තේ බීමත් රියැදුරු රක්ෂිත බන්ධනාගාරයට


(බී. ජානක)

වැල්ලවත්ත මුහුදු මාවතේ ස්ථාන දෙකකදී ඊයේ (06) අලුයම පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකළ මෝටර් රථය පැදවූ බීමත් හෝටල් කළමණාකාරවරයා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී.ඒ.ධර්මතිලක මහතා අද (07) පස්වවරුවේදී  නියෝග කළේය.

අනතුර සිදු කර පලා යමින් සිටි සැකකරු හා මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලවත්ත පාලම අසල මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසියපැවසීය.

මෝටර් රථය පැදවූ රියදුරු වැල්ලවත්ත මුහුදු මාවත, බොස්වෙල් පෙදෙස ආසන්න මාර්ගයේ ගමන් ගත් පාපැදිකරුවෙකු යට කර පලායමින් සිටියදී නැවතත් රාජසිංහ මාවත ආසන්නයේදී ශරීර සුවතාවය සඳහා ගමන්ගත් දෙදෙනෙකුව යටකර පලා යන අයුරු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලවත්ත  ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 57 හා 77 හැවිරිදි පුද්ගලයෝය. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බීමතින් සිටි බවට පොලිසිය පැවසීය.

අනතුර පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවත් මාරක  අනතුරක්  සිදු කිරීම සහ රිය අනතුරක් වාර්තා නොකිරීමට අනුබල දීම යන චෝදනා යටතේ   අත්අඩංගුවට ගත් තිදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.