වළ දමා තිබූ තවත් රෝහල් අපද්‍රව්‍ය තොගයක් සොයාගනී


(චන්ද්‍රසේන ගමගේ)

රෝහල් අපද්‍රව්‍ය බවට සැක කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් වළ දමා තිබූ ස්ථානයක් හම්බන්තොට ගොන්නෝරුව හැඩිල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.

මහවැලි රක්ෂිතයකට අයත් භූමියක් තුළ මෙම රෝහල් අප ද්‍රව්‍ය වළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

හැඩිල්ල ප්‍රදේශයේ ඇති ඝණ වනාන්තරයක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින්  එළි පෙහෙළි කර මෙම අප ද්‍රව්‍ය වළ දමා ඇති අතර රොහල් අපද්‍රව්‍යවල කොටස් ප්‍රදේශය පුරා විසිරී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඔවුන් සැක කරනු ලබන්නේ සෙවනගල  කුමාරපුර හා සමගිපුර යන ප්‍රදේශවල වළ දමා  නැවත ගොඩ ගත් රෝහල් අප ද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙනවිත් වළ දමන්නට ඇති බවයි.

හැඩිල්ල ප්‍රදේශවාසීන් පවසන්නේ වළ දමා ඇති රොහල් අපද්‍රව්‍ය නිසා ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් පවතින බවත් වර්ෂාවත් සමඟ එම අපද්‍රව්‍ය හැඩිල්ල වැවට මුසු විය හැකි බවත්ය.ප්‍රදේශයේ ජනතාව හැඩිල්ල වැවේ ජලය පානීය අවශ්‍යතා සඳහා භාවිතා කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම රෝහල් අපද්‍රව්‍ය නීති විරෝධීව වළ දමන ලද පුද්ගලයන් පිළිබඳව හම්බන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ ඊට අමතරව හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය සභාව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගෙන තිබේ.