වවුනියාවේ සංචාරයට ආ ජනපතිට විරෝධය


(සිතුම් චතුරංග)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වවුනියාව සංචාරයට විරෝධය දක්වමින් හා යුද සමයේ අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ජනාධිපතිවරයා පැමිණෙන මාර්ගය අසල විරෝධතාවය පැවැත්වීමට සැලසුම් කොට තිබූ අතර වවුනියාව පොලිස් නිලධාරීන් විසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැනින.

ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා පැමිණ සිටි අතර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළු කොඩි ඔසවමින් හා අතුරුදහන්වූවන්ගේ ඡායාරූප පෙන්වමින් පවසා සිටියේ තමන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් අනතුරුව උතුරු පළාතේ සංචාරය කරන පළමු අවස්ථාව වන අතර එයට විරෝධය දක්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එලෙස විරෝධය දැක්විය.

ජාත්‍යන්තරය සමඟ සබඳතා තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුද සමයේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබාදෙන ලෙසද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් එහිදී පවසා සිටියහ.

පොලිසිය විසින් වවුනියාව කාන්තා පොලිස් නිලධාරිනියන් ගෙන්වා විරෝධතාකරුවන් එක්තැනකට රැස්කොට ඔවුන්නට හඬනැගීමට නොහැකිවන සේ රැකවල් යොදා බාදා කරමින් විරෝධතාකරුවන් මෙල්ල කිරීමට කටයුතු කළ අයුරු දැකගත හැකිවිය.