වලානෙන් ගිහින් යාපනයේ කළ මෙහෙයුම


(ඉන්දිකා  රාමනායක)

පානදුර වලාන දූෂණ මර්දන නිලධාරීන් බව පවසමින් පලෙයි  නිවාඩු නිකේතනයක රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු  සුරාබදු නිලධාරීන් ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව  පලෙයි පොලිසිය පවසයි.

ඔවුන් සන්තකයේ තිබී ගංජා  කිලෝ 2යි , මිලිග්‍රෑම් 250 ක් සුරාබදු නිලධාරීබාරයටගෙන තිබේ.

‍පලෙයි පොල් සංවර්ධන මණ්ඩලයේ නිවාඩු නිකේතනයේ දී පෙරේදා (22) රාත්‍රියේ මෙම උප පොලිස් පරික්ෂකවරයා  ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ රැඳී සිටියදී පානදුර වලාන දූෂණ මර්දන ඒකකය නිලධාරීන් පිරිසක් බව පවසමින් පැමිණි කණ්ඩායමක් ගිනි අවි පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගත් බවට පොලිසිය මීට පෙර වාර්තා කර තිබුණි.

මෙම පැහැරගැනීම වාර්තාවීමත් සමගම පොලිසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර  තිබූණි.

 මෙම මෙහෙයුම අතරතුර ඊයේ (23) පෙරවරුවේ පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ මෙය  පැහැර ගැනීමක් නොව සුරාබදු වැටලීමක් සිදුකර  කේරල  ගංජා සමග  සැකකරුවන් සුරාබදු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇති බවයි.

සුරාබදු නිලධාරීන් උපාය දූතයන් යොදවා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම වැටලීම සිදුකර කොස්තාපල්වරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා  ගංජා සමග අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරීන් තොරතුරු අනාවරණය කරයි.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඊයේ කොළඹට රැගෙන විත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.