වල්අලි ප්‍රහාරයෙන් ගොවියෙක් මරුට


(ප්‍රියාණි මංගලිකා)

කොටවෙහෙර, ගල්කඩවල ප්‍රදේශයේදී වල් අලියෙකු පහර දීමෙන් සිවු දරු පියෙකු අද (10) පෙරවරුවේ මරණයට පත්ව ඇති අතර මෙය දින හතරක් තුල සිදු වූ දෙවන මරණය බව කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ කොටවෙහෙර, ගල්කඩවල ලිපිනයේ පදිංචි ඩබ්.එම්.කේ.තිලකරත්න (59) නැමති ගොවි මහතෙකි.

ගොවි මහතා උදෑසන තම ගෙවත්තේ දර කපමින් සිටියදී, එක්වරම කඩා වැදුන තනි අලියාගේ පහර දීමට ලක්ව මෙසේ මරණයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.

වල්අලි ප්‍රහාරයෙන් පසුව අනතුරට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහු රෝහල් ගත කරණ විටද මිය ගොස් සිට ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

මියගිය පුද්ගලයා ගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.