වරාය නගරයේ සේවා සැපයුම් ආයතනය බද්දෙන් නිදහස්


 

චීනය ප්‍රමුඛ කව කොළඹ වරායේ ඇරඹීමට යෝජිත  සේවා සැපයුම් මධ්‍යස්ථානයට ආයතනික ආදායම් බදු සහ ලාභාංශ මත රඳවා තබා ගැනීමේ බදු සඳහා වසර 15 නිදහස් කිරීමක් රජය ලබා දී තිබේ.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා සේවා සැපයුම් මධ්‍යස්ථානය පිහිටුවීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කළේය.

මෙම තීරණය ගනු ලැබුවේ කොළඹ වරාය දකුණු ආසියාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් බව ජනාධිපතිවරයා පැවැසුවේය.

කෙසේවෙතත් උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත භාවිතය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශවලට පටහැනි වේ.ගැසට් පත්‍රයට අනුව ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා පිහිටුවන අනුබද්ධිත සමාගමේ සියයට 70 ක් කොටස් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගමටත් සියයට 15ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් තවත් සියයට 15 ක් ඇක්සස් ඉංජිනියරින්ග් සමාගමටත් අයත් වේ.

වසර දෙකක සම්පූර්ණ ව්‍යාපෘති කාලය සඳහා අදාල සමාගම රඳවා ගැනීමේ බද්ද ගෙවීමද අපේක්ෂා කළ නොහැකි බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අදාල කාලය තුළදී කොටස්හිමියන්ට ලැබෙන ලභාංශ වසර 15 ක කාලයක් සඳහාත් ඉන්පසුව වසරක් සඳහාත් අදායම් බද්දෙන් නිදහස් බවද පැවසෙයි. එකතු කළ අගය මත බද්ද, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද, සෙස් සහ රේගු බද්ද ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති පරිදි වසර දෙකක් සඳහා ව්‍යාපෘති ආශ්‍රිත භාණ්ඩ ආනයනය සඳහා අදාළ නොවන බවද ආරංචි මාර්ග පවසයි.

එසේම උපරිමය 30 කට යටත්ව එම සමාගමේ සේවය කරන විදේශීය සේවකයන් වසර 5 ක කාලයක් සඳහා අදායම් බද්දෙන් නිදහස් බවද පැවැසෙයි.

(නාමිණි විජේදාස)