වර්ෂාවෙන් පොළොන්නරුවේ 283ක් පීඩාවට


(ක.ග.කරුණාරත්න)
 
නොකඩවා ඇදහැලෙන වර්ෂාව නිසා  පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබෙන සුළු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 283ක් පීඩාවට පත්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
 
පවුල් 70කට අයත් මේ පිරිස තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල සහ ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන බව ඒ මහතා කීය. මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ තමන්කඩුව සහ වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලය.
 
ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙන අතර මාස් කන්නයේ වී වගාකරන ලද කුඹුරු අක්කර 1500ක් පමණද ජලයෙන් යටවී ඇත.මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය කොටලීය පාලම අතර ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී පැවැතීම නිසා එම මාර්ගයේ සැහැල්ලු වාහන ගමනා ගමනය අද(22)උදෑසන සිට තාවකාලිකව නවතා දමා තිබේ.
 
අද උදෑසන වනවිට එහි ජල මට්ටම අඩි 03ක් පමණ පැවැති බව පොළොන්නරුව පොලීසිය පැවැසීය.පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, රිදීතැන්න ප්‍රදේශය ජලයෙන් යටවී පවතින අතර එහි ජල මට්ටම අඩි දෙක හමාරක් පමණ බව වැලිකන්ද පොලීසිය කියයි.
 
මේ අතර පොලොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ සෝමාවතිය පුද බිමට ආසන්නයේ මාර්ගය ස්ථාන කිහිපයක්  ජලයෙන් යටවීම හේතුවෙන් සුංගාවිල පෙරියආරු පාලමෙන් එගොඩට රථ වාහන ගමනා ගමනය මුළුමනින්ම තාවකාලිව නවතා දැමීමට අද(22) උදේ පියවර ගත් බව පුලස්තිපුර පොලීසිය සඳහන් කරයි.

 
පරාක්‍රම සමුද්‍රය ඇතුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සියල්ලකම ජල මට්ටම් ඉහළ යමින් පවතින හෙයින් එම වැව් නිරීක්‍ෂණය කරමින් තිබෙන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප්‍රකාශ කළේය.