වයඹ පළාත් සභා ලොක්කකුගේ ඉඩමක් කුලියට ගෙන කසිප්පු පෙරලා


(අජන්ත රත්නායක)

වයඹ පළාත් සභාවේ ප්‍රධාන තනතුරක් හොබවය ප්‍රබල දේශපාලනාඥයකුට අයත් පොල් වත්තක් කුලියට ගෙන කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙ‍ෙනකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව වීරඹුගෙදර පොලිසිය කියයි.

වීරඹුගෙදර, හංවැල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 07 ක මෙම පොල් වත්ත සැකකරුවන් විසින් වසර දෙකක කාලයක් සඳහා පළාත් සභා බදු පදනම මත ලබාගෙන ඇති එකක් බව පොලිසිය කියයි.

එම ඉඩමේ පිහිටි මුර මඩුවක් තුළ කසිප්පු පෙරීමේ ජාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව එම මුර මඩුව වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඩා බැරල් 38 ක්, ලීටර් 45 බූලි 18 ක්, කම්බි දඟර 04 ක්, ගෑස් ලිප් 04 ක් සහ ගෑස් සිලින්ඩර 09 ක් මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් මෙලෙස නිෂ්පාදනය කළ කසිප්පු, තොග වශයෙන් පිට පළාත්වලට අලෙවිකර ඇතැයිද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වේයන්ගොඩ සහ පස්යාල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 36 වයස්වල පසුවන පිරිස් වෙති.

වයඹ පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි කුරුණෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජේ. බී. වයි. ක්‍රිෂාන්ත, සහකාර පොලිස් අධිකාරී සොයිසා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වීරඹුගෙදර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සෙනරත්, පොලිස් සැරයන් ප්‍රේමරත්න (26227), පොලිස් කොස්තාපල් කුමාර (26637) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01 දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.