
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යාන ප්‍රේරක කාලප මායිමේ පිහිටි රාල්මඩුව කුඹුරු යායක් තුල කුඩා පක්ෂීන් සිය ගණනක් හදිසියේ මරණයට පත් වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට පක්ෂීන්ගේ කොටස් යැවීමට කටයුතු කරන බව පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
රාල්මඩුව කුඹුරු යාය තුල එකම කුලයට අයත් බව කියන ගේ කුරුල්ලා, සරල වී කුරුල්ලා, ගෙල කළු කුරුල්ලා, මහ ටිකිරිත්තා, කිරුළළු බිම් රිට්ටා ඇතුළු කුඩා පක්ෂීන් කුඹුරු යාය තුළ හා අවට ප්‍රදේශය තුළ මරණයට පත්වී ඇති බව වනජීවි නිලධාරීහු පවසති.
රාල් මඩුව කුඹුරු යාය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම ගම්මානය යාබද පිහිටි ගම්මානයකි. මෙම කුඩා පක්ෂීන් දින කිපයකට පෙර වී වැපිරූ කුඹුරක විශාල වශයෙන් සිටිනු දැක ගත හැකි බවත් ඒ සමග අවට ප්‍රදේශයේ ස්ථාන කිහිපයකද මෙම පක්ෂීන් මරණයට පත්ව සිටි අයුරු දැක ගත හැකි වූ බවත් වනජීවි නිලධාරීහු කියති.
මරණයට පත් නොවු පක්ෂීන් තැනින් තැන ඉතාම අසීරුවෙන් පියාඹා යාමට නොහැකිව කුඹුරේ වැටී සිටිනු දැක ගත හැකි වු බව ඔවුහු පවසති.මෙසේ එකම ස්ථානය විශාල වශයෙන් කුඩා පක්ෂීන් මරණයට පත්ව ඇති ආකාරය මීට පෙර පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී නැති බව ද ඔවුහු සඳහන් කරති.
පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා මෙසේ පවසා සිටියේය.
“මේ සිද්ධිය වාර්තා වීමත් සමග වනාතවිල්ලුව වනජීවි නිලධාරින් රාල්මඩුව ප්‍රදේශයට පිටත් කළා. අපේ නිලධාරින් මේ ස්ථානවල කළ පරීක්ෂණවලින් මේ වන විට කරුණු කිහිපයක් පිළිබදව විශේෂ පරීක්ෂණයක් අරඹා තිබෙනවා. ඒ සමගම අදාල කුඹුරු යායේ දින කිහිපයකට පෙර වී ඉහපු ගොවි මහතා ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
රජයේ රස පරීක්ෂකට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට මේ පක්ෂීන් යැවීමට අවශ්‍ය කටයුතු කළා. මේ කුඩා පක්ෂීන් යම්කිසි විසක් ශරීරගතව හෝ වෙනත් රෝගයක් නිසා මරණයට පත්ව ඇති නම් මේ කුඩා පක්ෂීන් ආහාරයට ගන්නා නරින්, මුගටින්, උකුස්සන් හා අනිකුත් මාංශ භක්ෂක සතුන් විශාල අවදානමකට ලක්වෙනවා.
ඒ නිසා මෙම ප්‍රදේශය තුළ මරණයට පත්ව සිටි පක්ෂීන් සියල්ලම වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව ආරක්ෂිතව ඉවත් කළා" යැයි වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.




