වත්කම් අලෙවි නොකර රට පවත්වාගෙන යන්න බෑ


(ඩයනා උදයංගනී)

මොනවා හෝ වත්කම් අලෙවි නොකර රට පවත්වාගෙන යා නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අයවැය හිඟය පියවා ගැනීම සඳහා වැඩිම රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පුද්ගලීකරණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය සමයේ බවත්, දැන් පවතින තත්වය අනුව ද දේපලක් විකුණා හෝ ඩොලර් අර්බුදය විසඳා නොගතහොත් ලෝකය සමඟ ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

රට සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමකට ගෙනඒමට නොහැකිවුවහොත් බැංකු නිකුත් කරන ණයවර ලිපි අන්තර්ජාතිකව පිළිනොගන්නා තත්වයක් ඇතිවී ඉන්ධන ගෙන්වීම පවා කළ නොහැකි වනු ඇතැයි කී ඇමතිවරයා පසුගිය සතියේත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව තවත් පියවරකින් පහතට දමා ඇතැයි ද කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වරාය අධිකාරිය සතුව තබාගන්නා බව කී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ජපානයට ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බවට මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.