ලෝක උරුම අනුරාධපුරය විනාශ මුඛයේ


(තරිඳු ජයවර්ධන)

පුරාවිද්‍යාත්මක, සංස්කෘතික, ආගමික , ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අනුරාධපුර නගර සීමාව තුල මෑත කාලයේ අවිධිමත් අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති නිසා නගරයේ  එම වටිනාකම ක්‍රමයෙන් බිඳවැටෙමින් පවතින බවත්,  එම බලපෑම තුළින් නගරවාසීන්ගේ ජනජීවිතයට හා යහ පැවැත්මට හානිදායක තත්ත්වයක් උදාවී ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඇතුළු නුවර කලාපයට අයත් පුරාවිද්‍යා රක්ෂිත කලාප තුළ අනවසර පදිංචිකරුවන් විසින් ඉඩම් අත්පත් කර ගැනීම්, ගොඩනැඟිලි ඉදිකිරීම් හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් අවශේෂ කොටස් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම නිසා  නාගරික බල ප්‍රදේශයේ සංස්කෘතිය හා පුරාවිද්‍යාත්මක වටිනාකම් විනාශ මුඛයට ගොස් ඇති බව නිරීක්ෂණය කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරනුයේ අනුරාධපුර මහනගර සීමාව තුල කරන ලද අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන බලපෑම පරීක්ෂා කිරීම සඳහා විශේෂ විගණන පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුවය.

අභයගිරිය පුරාවිද්‍යා රක්ෂිතයට අයත් ලංකාරාමය, සඳකඩ පහන, සමාධි පිළිමය, කුට්ටම් පොකුණ හා අභයගිරි ස්ථූපය ඉදිපිට අනවසර ඉදිකිරීම් 267ක් පමණ වන බව ද, වෙස්සගිරිය ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් හා වෙළඳසැල් 25ත් 30ත් අතර ප්‍රමාණයක් තිබෙන බවද, ඒ හේතුවෙන් පෞරාණික වටිනාකම් සහිත ස්ථාන අපවිත්‍ර වී ඇති බව නිරීක්ෂණය කර තිබෙන බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.

නාගරික බල ප්‍රදේශය තුළ ඇති පූජාභූමි අනවසර ලෙස අත්පත් කර ගැනීම හෝ පූජා භූමි සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අනවසර කර්මාන්ත සඳහා නගර සභාව විසින් බලපත්‍ර ලබාදීම හේතුවෙන් එම භූමිය බැතිමතුන්ට අහිමිවන අතර මේ හේතුවෙන් වන්දනාමාන කටයුතු සඳහා පැමිණෙන්නවුනට බාධා පැමිණ ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ.

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පොන්නාරම්කුලම වැව හා රක්ෂිතය තුල පෞද්ගලික හෝටලයක් පවත්වාගෙන යන බවත්, වැව් තාවුල්ලේ තාප්පයක් බැඳ ලැගුම් ගැනීම සඳහා කාමර කීපයක් ඉදි කිරීම හේතුවෙන් වැව් පෝෂක ප්‍රදේශය අහිමිවී ඇති බවත් නිරීක්ෂණය කර ඇත.

නාගරික අවශ්‍යතා සඳහා බීමට ජලය සැපයෙන නුවර වැව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 275ක් හා තිසා වැව් තාවුලු ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ස්ථාන 130ක් තිබීමෙන් වැව්ජලය දූෂණයට ලක්වන බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල අනවසර ලෙස පරිහරනය කරන පුද්ගලයින් විසින් ඔවුන්ගේ හෝටල්, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැවේ පිටාර ජලය ගලා බසින පරණි වාන ගලවා ඉවත් කර අලුතෙන් වාන ඉදිකර ඇති බව ද නිරීක්ෂණය කර තිබේ.

අනුරාධපුර මහා රෝහලෙන්, යුද හමුදා රෝහලෙන් සහ පෞද්ගලික රෝහල්වලින් පිටවන අප ද්‍රව්‍ය පොන්නාරම්කුලම් වැවේ ඇළ මාර්ගයට එකතු වී මල්වතු ඔයට එකතු වන බව නිරීක්ෂණය කළ බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ දැක්වේ.

කුම්බිච්චන්කුලම වැවේ වාන් වතුර මල්වතු ඔයට මුදා හරින ඇළ මාර්ගය දෙපස ඇති සේවා මාර්ගද අවහිර වන පරිදි විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් කර තිබී ඇත.  පෞද්ගලික ආයතනවලින් ඇළ ඉවුර මත ආධාරක කොන්ක්‍රීට් කණු යොදා ඒ මත තාප්ප හා බිත්ති බැඳ ඇළ රක්ෂිතය අනවසරයෙන් අල්ලා ගෙන තිබීම හේතුවෙන් සේවා මාර්ග අහිමිවී ඇති අතර එය ඇළ දෙපස ජීවත්ව සිටින ජනතාවට ප්‍රබල සාමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබේ. ඇළ මාර්ග දෙපස ඇති රක්ෂිත ප්‍රදේශ අවභාවිතා කරමින් හෝටල් ඉදිකිරීම, තොටුපොළවල් සෑදීම යනාදිය කිරීම හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂණය වී ඇති බව නිරීක්ෂණය කර තිබේ.

මල්වතුඔය රක්ෂිතය විශාල වශයෙන් භාවිත කරනු ලබන්නේ නගරයේ ප්‍රසිද්ධ හෝටල් සහ ලැගුම්හල් හිමියන් විසින් බවත්, හෝටල් හිමියන් කිහිප දෙනකු විසින් සංචාරකයන් සඳහා බෝට්ටු සවාරි සංවිධානය කර තිබුණු බවත්, රක්ෂිතවල ඉදිකිරීම් කර ඇති හෝටල සඳහා නගර සභාවෙන් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියක් ගෙන නොතිබුණු බවත්, බෝට්ටු සවාරි  සඳහා නගර සභාවෙන් වෙළඳ බලපත්‍ර ලබාගෙන නොතිබුණු බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.