(ඩයනා උදයංගනී)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම පරීක්‍ෂණයේ වාර්තා පැමිණෙන තුරු ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම වරදක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් ලොහාන් රත්වත්ත මහතා තමාට චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක මෙසේ ඉල්ලා අස්වීම හොඳ ප්‍රවණතාවයක් බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා ලෙස ඔහුට එල්ලුම්ගහ බලන්නට යාමේ අයිතියක් ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
‘වරදක් සිදු වුණාම වෙනත් රටවල අය ඉල්ලා අස්වෙනවා. මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ’ යැයි කී පිරිස් දැන් ලොහාන් රත්වත්ත මහතා ඉල්ලා අස්වූ පසු ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.
මෙවැනි දෙයක් සිදුවීම තුළින් වත්මන් රජයට විනයක් ඇති බව පැහැදිලි විණි යැයි කී ඇමතිවරයා මීට පෙර මහ බැංකුවංචාව පිළිබඳ චෝදනා එල්ල වූ අය ඉල්ලා අස්වූයේ නැතැයි ද ප්‍රකාශ කළේය.
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පාමංකඩ මාර්ගයේ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ලොහාන් රත්වත්තේ මහතාගේ සිද්ධිය නිසා මානව හිමිකම් චෝදනා ද එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා පැවසුවේ රටට මානව හිමිකම් ප්‍රශ්න ප්‍රභාකරන් මරණයට පත්වූ දා සිටම තිබූ බවත්, මේ ප්‍රශ්නයටත් මුහුණ දිය යුතු බවත්ය.

