ලොරි -යතුරුපැදි ගැටීමෙන් යුවළක් මරුට


( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරු පැදියක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් මරණයට පත්වූ  බව දොරටියාව පොලීසිය පැවසීය.

දොරටියාව , තෝරයාය ලෙච්චමීවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.අමිල පුෂ්පසිරිගේ (34) සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. චතුරානී නිසංසලා කුමාරි (33) යන දෙදෙනා මෙම අනතුරින් මියගොස්  ඇති බව පොලීසිය කියයි.

මියගිය පුෂ්පසිරිගේ මහතා වෘත්තීයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවන්හලක සූපවේදියෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහුගේ බිරිඳ ස්වයං රැකියාවක් ලෙස කේක් නිර්මාණය කළ අයෙකි.

අඹුසැමි යුවළ කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විදුහලේ හයවන වසරේ අධ්‍යාපනය ලබන තම එකම දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

දියණිය එදින විදුහලේ චෙස් ක්‍රීඩා පුහුණුවකට සහභාගි වෙමින් සිට ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙමින් තිබූ අතර අඹුසැමි යුවළ තෝරයාය දෙස සිට කුරුණෑගල දෙසට තම යතුරු පැදියෙන් යමින් සිටියදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය කරවූ ලොරියක හැපී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අධික වේගයෙන් පැමිණ ඇති ලොරිය වැස්ස පවතින අවස්ථාවේදී වේගය පාලනය කරගත නොහැකිව එක් වරම මාර්ගයේ පැමිණි දෙසටම ආපසු හැරී ඇති බවත් එම අවස්ථාවේදී ලොරිය පැමිණෙන අනතුරුදායක තත්ත්වය වටහාගන ආරක්ෂාව සඳහා මාර්ගයේ අයිනටම වී සිටි යුවළ ගමන්ගත් යතුරු පැදියේ ලොරියේ පිටුපස කොටස ගැටීමෙන් ඔවුන් දෙදෙනා මාරක අනතුරකට ලක්ව ඇති බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.