ලොකු ලූනු


 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි දඹුල්ල මහනගර සභාව සතු ප්‍රධාන මාර්ගයේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ගෙන්වන ලද ලොකු ළුණු සහ අර්තාපල් කන්ටේනර් රථ  මත තබාගෙන අලෙවි  කිරීමේ  ක්‍රියාවලිය හේතුවෙන් මහ මඟ ගමන් කරන ගොවි ජනතාවට සහ අනෙකුත් ජනතාවට දවස පුරා දැඩි හිරිහැරවලට ලක්වන බව ඔවුහු පවසති.

 මේ පිළිබඳව දඹුල්ල ‍පොලිසිය මහ නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය සහ මෙම ස්ථානයේ වෙළඳාම් කරන ගනුදෙනුකරුවන් දැනුවත් කළද කිසිදු අවස්ථාවක ඊට කිසිදු අවනතක් සිදු නොවන බව ජනතාව පෙන්වා දෙති.

මාර්ග නීති උල්ලංඝනය කරමින් පාකිස්ථානය සහ ඉන්දියාවෙන් පැමිණි බායිලා නමින් හඳුන්වන කිහිප දෙනෙකු තවත් තැ‍රැව්කරුවන් කීප දෙනෙකු සමඟ    විශාල වෙළඳාමක් සිදුකරන බවද පවසති.

කිසිදු ඉවක් බවක් නොමැතිව ව්‍යාපාරිකයන් මහමග දෙපස කන්ටේනර් රථ නවතා මඟ මැද අනෙකුත්  මිලදී ගැනීම සඳහා පැමිණෙන ලොරි නවතා ඒවාට පටවා ලොරි තුලම කිරා මුදල් ලබාගෙන පිටත්කර හැරීම සිදුවන බවත් කියයි.

මේ තත්ත්වය වහාම නවතා දමනු ඇතැයි වර්තමාන රජයෙන් බලාපොරොත්තු වුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද ඔවුන් සම්පූර්ණයෙන්ම නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන බව මහමග ගමන් කරන ජනතාව පෙන්වා දෙති .

දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චතුරිකා නවරත්න මහත්මියගෙන් මෙම පිළිබඳව විමසීමේදී ඇය කියා සිටියේ මහමග එවැනි ගනුදෙනුවක් සිදුවනවාද නැද්ද යන්න තමන්ට නිසි  ලෙස අවබෝධයක් නොමැති බවය, ඒ පිළිබඳව සොයා බලා කඩිනමින් දැනුවත් කරන බවයි.

මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මාර්ගය දඹුල්ල මහනගර සභාව සතු නිසා ඒ අය  සමඟ සාකච්ඡා කොට ඊට විසඳුමක් ලබා දීමට හැකි බවයි.