ලී මඩුවට පැන හිමිකාරිය මරයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අතුරුගිරිය ගොඩගම පාරේ පිහිටි ලී මඩුවක් තුළදී තියුණු ආයුධයකින් ඇන එහි හිමිකාරිය ඝාතනය කොට තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මංගලිකා මහවත්ත 50 හැවිරිදි අතුරුගිරිය ලක්මිණී ලී මඩුවෙහි හිමිකාරිය බව පොලීසිය කියයි.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මෙම ලී මෝලෙහි සේවය කරන අතර සේවය නිමවා නිවසට නොපැමිණීම නිසා ඔහුගේ බිරිඳ රාත්‍රී 7.30 පමණ ලී මඩුවට පැමිණ බැලීමේදී තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකොට සිය සැමියා සහ ලී මෝලෙහි හිමිකාරය ලේ විලක් මැද වැටී සිටින දැක ඇතැයි පැවසේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කොට සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල්ගත කිරීමට යාමේදී කාන්තාව මියගොස් ඇති බවට අනාවරණය වූ බව පැවසේ.

එම අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ මුහුණෙහි වම් පසින් මුඛය තුළට ඇන බරපතල තුවාල සිදු කළ පිහිය මුඛය තුළ රැඳී තිබෙන දක්නට තිබු බව පොලිසිය පවසයි.

පසුව බරපතළ තත්වයෙන් පසු වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව තිබුණි.

එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙසේ බරපතළ තුවාල සිදුව ඇත්තේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි

ඝාතනය කුමන හේතුවක් නිසා කවර කවරකු විසින් සිදු කළා දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක.