ලියුම් බෙදන්නා බලෙන් තියාගෙන මුදල් කොල්ල කන්න හදලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නකු බලහත්කාරයෙන් නිවසක රඳවාගෙන  පහර දී මුදල් කොල්ල කෑමට තැත් කළ මවක් දියනියක සහ තවත් පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි.

කොළඹ 15 පල්ලිය පාර ප්‍රදේශයේ නිවසක ලිපිනයකට කොටහේන තැපැල් කාර්යාලය වෙත ලැබී තිබූ පාර්සලයක් බරදීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ ලියුම් බෙදන්නා  තී රෝද රථයකින් තවත් ලියුම් බෙදන්නකු සමඟ එම නිවස ආසන්නයට ගොස් එම ලිපිනයට අයත් පාර්සලේ රැගෙන පා ගමනින් ගොස් නිවසේ සිටි තරුණිය වෙත එය බාරදී ඒ වෙනුවෙන් ගත යුතු රුපියල් 3500 මුදල ලබාගෙන එම ස්ථානයෙන් පිට වී ඇත.

මද වේලාවකින් දුරකථන ඇමතුමක් දී ලියුම් බෙදන්නා එම නිවස වෙත ගෙන්වා ගෙන නිවසේ දොර වසා ඔහුට පහර දී එම පාර්සලේ සඳහා ලබා දුන් මුදල් නැවත ඉල්ලා තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.

සැකකාර තරුණිය ඒ සඳහා යාබද නිවසේ පදිංචි පුද්ගලයකු ද ගෙන්වා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිනි.

ත්‍රිරෝද රථ සිටි මිතුරාට ඇමතුමක් දී ඔහු එම නිවස වෙත ගෙන්වා ගෙන වසා තිබූ දොර විවෘත කරවාගෙන ඉතා සූක්ෂම ආකාරයෙන් නිවසින් පැන තැපැල් කාර්යාලය වෙත පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.