
(ටී.කේ.ජී.කපිල )
ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනකු , තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී ඔවුන් බේරා මෙරටට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි.
මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි .
ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ " බොකියෝ " (Bokio ) හි , චීනය විසින් පාළනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ , විශේෂිත ආර්ථික කළාපයේ (Special Economic Zone ) පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ .
එහිදී මෙම කළාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර , ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන තිබේ .
ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත , තම රැකියාවේ කාර්යයභාරය ලෙස , විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින් , මෙම කළාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින් , මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් , අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ .
මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට , මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට , මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ .


