සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනාවට වරදකරුවන් කරමින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එක් අයෙකුට ඩිරාම් ලක්ෂ 5 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කිරීමට ලබාදුන් කාලය ඇතුළත එම චූදිතයන් අභියාචනා ගොනු කර නැතැයි ඩුබායි හී පළවන කලීජ් ටයිම්ස් පුවත්පත අද (21) වාර්තා කළේය.
කෙසේ වෙතත් මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය තුළදී චෝදනා ලත් පුද්ගලයන් අභියාචනා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මුලින් ලබාදුන් තීන්දුව අවසන් තීන්දුව බවට එම අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතැයි කලීජ් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයින් ලෙස සේවය කළ අවුරුදු 28 ත් - 34 ත් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට මෙසේ දඩ ගෙවන ලෙසට ඩුබායි අධිකරණය පසුගිය දෙසැම්බර් මස 22 වැනිදා නියෝග කෙරිණි.
මේ සම්බන්ධයෙන් පළමුව ඩුබායි අධිකරණය නියෝග කරනු ලැබුවේ පැන වූ දඩ මුදල් ගෙවා විත්තිකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙසය.
ෆෙස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම චූදිත ලාංකිකයන් තිදෙනා ඉස්ලාම් දහමට අපහාස කළ බවට ඩුබායි අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.
මෙම නඩු විභාගය පසුගිය වසරේ මැයි 19 දා මුලින්ම විභාගයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විවිධ දෑ පළකර තිබූ බව පැමිණිල්ල මෙහෙයවූ ඩුබායි අල් බර්ෂා පොලිසිය මෙම නඩු විභාගයේදී අධිකරණය හමුවේ කියා සිටියේය.
නඩු විභාගයේදී ඔවුන්ගේ දුරකතන වලින් ලබාගත් පණිවිඩ හා ඡායාරූප සාක්ෂි වශයෙන් භාවිත කිරීමටද එම පොලිසිය කටයුතු කර තිබිණි.
මුලින්ම නඩු විභාගය තුළද චෝදනා ලැබ සිටි ලාංකිකයින් සඳහන් කර සිටියේ ඉස්ලාම් දහමට අපහාස කිරිමේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහිව පමණක් අදහස් පළකළ බවත්ය.
කෙසේ වෙතත් ඩුබායි මාධ්‍ය වාර්තා සඳහන් කළේ නඩු විභාගය අතර තුළදී ඔවුන් අදාළ චෝදනා පිළිගත් බවය.
(125)

