ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නියැලීම තහනම් කිරීමට ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.
මුහුදේ මත්ස්‍ය ගහණය විශාල ලෙස අඩුවීම දේශීය ධීවර කර්මාන්තයේ අනාගතයට බරපතල ගැටළු මතු කරන්නක් බැවින් මෙම තීරණය ගෙන ඇතැයි අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල් වෙත ලිපියක් ද යොමු කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
එම තහනම පසුගිය පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යක්ෂක ජනරාල්ට යැවු ලිපියේ දන්වා තිබේ.
ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය නිසා ධීවර රැකියාවේ නිරත කුඩා යාත්‍රා හිමියන් සහ එම යාත්‍රා වල ධීවර රැකියාවේ නිරත දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ධීවර සංගම් , මහජන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශව කරුණු ඉදිරිපත් කර තිබු අතර ඒවාද ඊට සම්බන්ධ පිරිස් හා සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබේ.
නාරා ආයතනය මගින් මෙතෙක් කළ පර්යේෂණ අනුව පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අලගොඩු නැමැති මත්ස්‍ය විශේෂය නොමැති බව තහවුරු කර ඇති අතර මුහුදු ප්‍රදේශයේ අලගොඩු පන්න ක්‍රමය සදහා බලපත්‍ර ලබාදීම ගැටළු සහගත බවට අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබුණි .
අදාළ බලපත්‍රය අනුව ගොඩබිම සිට මුහුදු සැතපුම් 10 කට එපිටින් මෙම පන්න ක්‍රමය භාවිතා කළ යුතු වුවත් එම පන්න ක්‍රමය භාවිත කරනුයේ ගොඩබිමට ආසන්න මුහුදු ප්‍රදේශයේ බව තහවුරු කරගැනීමට පර්යේෂණ කණ්ඩායම් සමත්ව තිබේ .
එම පර්යේෂණ වලට අනුව මෙම ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය හේතුවෙන් ගොඩබිම ආසන්නයේ මත්ස්‍ය සම්පත විනාශ වීමේ බරපතල තත්වයක් මතුව ඇතැයිද කියති.
(36698)

