ලබන වසරට යූරියා දෙන්න ඉරානයෙන් එකඟතාවය


 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය  එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Hashem Ashjazadeh මහතා  කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කළ සාකච්ඡාවකදී මෙම කරුණු හෙළි විය.

මෙහිදී යුරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යුරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කළේය.

ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලයේ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යුරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ් සඳහා මුලික වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද සඳහන් කළේය.

ලබන වසරට අවශ්‍ය යුරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.