රිෂාඩ් හෙට විශේෂ කාරක සභාව හමුවට


හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට (26) පෙනී සිටීමට නියමිතය.

 

විශේෂ කාරක සභාව හමුවේ අනාවරණය වූ කරුණු කිහිපයක් පිළිබඳව විමසීම සඳහා ඔහු මෙසේ කැඳවන බව එම කාරක සභාවේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු පැවැසුවේ විශේෂ කාරක සභාව හමුවේ හෙට පෙනී සිටින්නැයි එම කාරක සභාව තමාට දැනුම් දී ඇති බවය.

තමා දන්නා සියලු තොරතුරු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී ඔහු කීය.
රිෂාඞ් බදියුදීන් මහතාට අමතරව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරුන් සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනකු ද විශේෂ කාරක සභාව හමුවට හෙට (26) කැඳවීමට නියමිතය.

පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (26) පස්වරු 2.00ට රැස්වෙයි. රැස්වීම රාත්‍රී 7.00 දක්වා පැවැත්වීමට නියමිතය. 

ජනාධිපති, අගමැති, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ඇතුළු බලධාරීන් කිහිප දෙනකු ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට කමිටුව දැනටමත් තීරණය කර ඇත. එම කැඳවීම් ඉදිරි සතිවලදී කිරීමට බලාපොරොත්තු වන බව කමිටු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විමර්ශන කටයුතුවලට අදාළ අතුරු වාර්තාවක් ළඟදීම මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වන්නේ හයවැනි වතාවටයි.