රිය අනතුරකින් අයෙක් මරුට -11ක් රෝහලේ


(ඔගස්ටින් ප්‍රනාන්දු)   
හලාවත කුරුණෑගල මාර්ගයේ කංජික්කුලිය තිත්කඩේ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් වූ  අනතුරකින් පුද්ගලයකු මිය ගොස් 11දෙනෙකු තුවාල ලබා ඇතැයි හලාවත පොලිසිය කියයි. 
 
මිය ගොස් ඇත්තේ හෙට්ටිපොල කූරටිහේන ප්‍රදේශයේ විසු ඒ.ආරියපාල ( 65 ) නමැති අයයි. 

මුන්නේශ්වරම දේවාලය වැද පුදා ගැනීම පිණිස ඊයේ ( 25 ) පස්වරුවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් ඊට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වාහන දෙකේ රියදුරන් ඇතුළු 11 දෙනකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

තුවාලකරුවන් අතර සිටි එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇතුළු කළ බවත් එම පුද්ගලයා මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.

ලොරියේ රියදුරුට හදිසියේම නින්ද යාම හේතුවෙන් ඔහුට රථය පාලනය කර ගත නොහැකිවීමෙන් අනතුර සිදුව ඇත.

හලාවත පොලිසියේ රථවාහන ඒකකය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.