(නිමන්ති රණසිංහ)
සතොස වැඩබැලූ සාමාන්‍යාධිකාරිවරයකුට එරෙහි අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය.
ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ කි‍්‍රයාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්ටි‍්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබැලු හිටපු සාමාන්‍යාධිකාරි සුනිල් මිලේතියස් විමල් පෙරේරා මහතාට එරෙහි අල්ලස් නඩුව අද (04) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගයක නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතා අද (04) පෙරවරුවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ. එසේම තම සේවාදායකයාට පෙරවරු 11.00ට පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා මූලිකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමක් සඳහා සහභාගීවීමට අවශ්‍ය බැවින් සාක්ෂි විභාගය සවස් වරුවේ පවත්වන ලෙසට සාක්ෂිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අධිකරණයේ අවසරය මත සාක්ෂිකාර රවී කරුණානායක මහතා අධිකරණයෙන් පිටව ගියද අද (04) පස්වරුවේ නැවත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
නොරොච්චෝලේ ජාතික විදුලිබලාගාරයේ පැවැති හදිසී රැස්වීමක් සඳහා තම සේවාදායකයා පිටත්ව ගිය බැවින් නඩුව කල් දමන ලෙසත් එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමන් භාරගනු ලබන බවත් නිතීඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

