(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
කේරල ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි රංගන ශිල්පී රයන් වැන් රොයන් මහතා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) නියෝග කළේය.
මීට පෙර එම සැකකරු කේරල ගංජා ප්‍රවාහනය කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර අද (02) පොලිසිය දැනුම් දුන්නේ ඔහු සන්තකයේ ඇති වාහනයේ කේරල ගංජා තිබී ඇති බවයි.
ඒ ඉකුත් නඩු වාරයේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ලබා දුන් නියෝගයකට අනුව කරුණු දක්වමිනි.
ඒ අනුව හෙට (03) ඊට අදාලව සංශෝධිත පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පොලිසියට නියෝග කළේය.
රයන් වැන් රොයන් මහතා දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායි හී දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් පසු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

