(අජිත්ලාල් ශාන්තඋදය)
අලුත්වැඩියා කටයුතු සඳහා රත්නපුර මහ නගර සභාවේ ආදාහනාගාර දෙකේ මෘත ශරීර දැවීම දින කිහිපයකට අත්හිටවු බව රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා පැවසීය.
රත්නපුර මල්වල පාරේ මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමියේ මෙම ආදාහනාගාර දෙක පිහිටා ඇත.
මෘත දේහ 150ක් පමණ ආදාහනය කළ පසු එක් ආදාහනාගාරයක් සේවා කටයුතු සිදුකළ යුතු බව ද නගරාධිපතිවරයා අවධාරණය කළේය.
එහෙත් ගෙවුණු දින කිහිපය තුළ නොනවත්වාම දිනකට මෘත දේහ අට, දහය දවාලීමට සිදුවු බවත් ඒවා අතර කෝවිඩ් රෝගය හේතුවෙන් මියගිය අයගේ දේහයන් ද දිනකට තුන හතර දවාලීමට සිදුවු බව ද නගරාධිපතිවරයා පැවසුවේය.
පසුගිය සර්විස් එකෙන් පසු මේවනවිට මෘත ශරීර හත්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ආදාහනාගාර දෙකේ දවා ඇති නිසා ආදාහනාගාර දෙක සර්විස් කිරීම අනිවාර්යයෙන් කළ යුතු නිසා මෘත දේහ දැවීමේ කටයුතු අවම වශයෙන් දින හතරක්වත් නවතා දැමීමට සිදුවන බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්‍ධයෙන් රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ද දැනුවත් කළ බව ද නගරාධිපතිවරයා කීවේය.
මහ නගර සභාවේ ආදාහනාගාර දෙකට අමතරව කුරුවිට සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා දෙකේ ආදාහනාගාර දෙකක් රත්නපුර නගරයට ආසන්නව ඇති නිසා විකල්ප ලෙස එම ආදාහනාගාර භාවිතාකරන ලෙස ඉල්ලීම් කරන බව ද පැවසුවේය.