රත්ගම ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


ඩි.ජී.සුගතපාල 
 
 
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් හය දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු නිලධාරියා ඇතුළු සැකකරුවන් හත් දෙනා තව දුරටත් 27  දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.

මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් යන සැකකරුවන් හත් දෙනාය.

මේ සම්බන්ධ  විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වු රජයේ නීතිඥවරුන් කියා සිටියේ අපරාධය සිදුවන අවස්ථාවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටි තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු මේ වනවිට තම නිවෙස් වලින්ද ප්‍රදේශයෙන් ද පලාගොස් ඇති අතර ඔවුන්ට ස්ථාන මාරු ලබාදුන් පොලිස් ස්ථානවලටද වාර්තාකර නොමැති බවය.

එයට අමතරව මෙම අපරාධයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති තවත් අයෙකුද ප්‍රදේශයෙන් පලාගොස් ඇති නිසා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.