(රෝෂන් තුෂාර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය ගොනුකළ පැමිණිල්ල ජුලි මස 11දින යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (16) දින නියම කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කළේය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ යම් ඉල්ලීමක් වෙතොත් මෙම පැමිණිල්ල විභාග කරන ස්ථිර මහේස්ත්‍රාත්වරයා හමුවේ එය ඉදිරිපත් කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.ඒ අනුව පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.