යාපනයේ බස් නැවතුම්පොළක පුපුරණ ද්‍රව්‍ය තිබී හමුවෙයි


(සිතුම් චතුරංග)
 
යාපනය , ගුරුනගර් ප‍්‍රදේශයේ  බස් නැවතුම්පොළක්  තුළ දමාගොස් තිබූ සී - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග‍්‍රෑම් 495 සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
 
නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී  බස් නැවතුම්පොළක සඟවා තිබියදී මෙම සී- 4 පුපුරණ ද්‍රව්‍ය හමුවී තිබේ.
 
හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර විදුලි නොවන ඩෙටනේටර් හා බෝම්බ පිපිරවීම සඳහා ගන්නා සේවානූල් කිහිපයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
 
විශේෂ කාර්ය බළකාය පැවසූයේ කිසියම් අයෙකු මසුන් ඇල්ලීම සඳහා ධීවරයින් වෙත ලබාදීමේ අරමුණින් සී- 4 පුපුරණ ද්‍රව්‍ය රැගෙනවිත් බස්නැවතුම්පොළේ දමායන්නට ඇති බවයි.
 
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක්  නොමැති අතර එම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකරන බවද කීය.
 
හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර යාපනය පොලිසිය වෙත බාරදීමට නියමිතව තිබිණි.