යතුරුපැදිය ගවයකුගේ ඇඟේ හැපී වෙළෙද සංගම් සභාපති මරුට


(බී.ජී. චතුරංග) 

මිහින්තලය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඒ 9 මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය ගවයකුගේ ඇගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් අද (8) ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , මිහින්තලේ  නගර මධ්‍යයේ "ලාභ කඩය" නමින් වෙළඳ සැලක් පවත්වා ගෙන යමින්, ජනතාවට භාණ්ඩ සහන මිලට අලවි කළ, මරදන්කුලම, පුවරසන්කුලම, ශ්‍රමදාන මාවතේ පදිංචිව සිටි ප්‍රසන්න නානායක්කාර නැමැති 69 හැවිරිදි තිදරු පියෙකි.

ජීවිතක්ෂයට පත්වූ   ප්‍රසන්න මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම  සමාජ සේවකයෙකි. මුළු දිවයිනටම සාම විනිශ්චයකාරවරයෙකු වූ ඒ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා, සමගි ජන බලවේගය පක්ෂයෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභාවට තරඟ කිරීමට නාම යෝජනා දීමට නාම යෝජනා භාර දී තිබූ අයෙකි.

පසුගිය 5 දා තම පුතු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර  අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (8දා ) අළුයම  ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ 9 මාර්ගයේ මිහින්තලේ ඇඟලුම් කම්හල, අසල සහ මරදන්කුලම  ප්‍රදේශයේ දී අයාලේ යන ගවයන්ගෙ ගැටී ජීවිතක්ෂයට පත්වූ  පස්වැනි පුද්ගල මරණය මෙය බවත්,  රාත්‍රී සහ දහවල් කාලයේ මාර්ගය පුරා සැරි සරන අයාලේ යන ගවයන්  සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය හෝ ප්‍රාදේශීය සභාව කිසිදු  ක්‍රියා මාර්ගයක් නොගන්නා බව  මිහින්තලය නගරයේ  පදිංචි  පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී. ඒ.සෝමරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.