මෙවර මානව හිමිකම් සමුළුව තීරණාත්මකයි


 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට එරෙහිව 2012 සිට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ විවිධ යෝජනා සම්මත වුවද මෙවර සමුළුව තීරණාත්මක බවත් මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරගත හොත් එය භායානක තත්වයක් වියහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (19) පැවසීය.  

මීට පෙර 2012, 2013, 2014 සහ 2021 යන වසරවලදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත වුවද යෝජනාව සම්මත වී එතැනින් එය අවසන් වූ බව කී ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙවර ඒ යෝජනාව වැඩි ඡන්දයකින් එනම් 47 න් 24 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක ඡන්දයෙන් සම්මත වුවහොත් එහි සඳහන් කරුණු ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ කොන්දේසි බවට පත් කිරීමේ අවදානමක් ඇති බවත්ය.  

ශ්‍රී ලංකාවට එරෙහිව 2021 වසරේ සම්මත වුණු යෝජනාවට පක්ෂව ඡන්ද 22  ක් ලැබෙන විට විරුද්ධව ඡන්ද 11 ක් පමණක් හිමිවෙද්දී රටවල් 14ක් ඡන්දය දීමෙන් වැලැකී සිටි බව කී ගම්මන්පිල මහතා  එදා ඡන්දය පාවිච්චි කළ රටවල්වලින් තුනෙන් දෙකක් මෙවර සභාවේත් සිටින බව ද සඳහන් කළේය.

අධ්‍යනය අනුව මෙවර යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් ද, විරුද්ධව 11 ක් ද, ලැබෙන විට රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැලැකී සිටීමට ඉඩ ඇති බව ද ගම්මන්පිල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.