මූල්‍ය ආධාර තවදුරටත් ඕනෑ


(විමුක්ති එස් රුද්‍රිගු)

ඩිජිටල්කරණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සඳහාත් ස්ථාවර මූල්‍ය අංශයක් ඇති කිරීම සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ  තාක්ෂණික සහාය සහ මූල්‍ය ආධාර තවදුරටත් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතාට ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ 56 වැනි වාර්ෂික සමුළුවට සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා අතර පැවති හමුවේදී අලි සබ්රි මහතා මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක දී  ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් විශිෂ්ට හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය පිළිබඳවත් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන සහාය පිළිබඳවත් ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා එහිදී ප්‍රකාශ කර ඇත.ආර්ථික අර්බුදය උග්‍ර වීම වැළැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව සහ ශ්‍රී ලංකාව නැවතත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශක්තිමත් අඩි තාලමක් දැමීමට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මසට්සුගු අසකාවා සිය ප්‍රසාදය පළ කර තිබේ.

ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අඛණ්ඩව ලැබෙන බව අසකාවා මහතා පවසා ඇත.