මුහුණු පොතේ දැන්වීම් දමා කතුන් රවටා රිමාන්ඩ් වේ


(නිමන්ති රණසිංහ)

මුහුණු පොතේ දැන්වීමක් නිර්මාණය කර එහි ‘හඳහන් බලන බවට’ සඳහන් කරමින් කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියන ජෝතිර්වේදියකු ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර අධිකාරියට අද (03) නියෝග කළේය.

මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැවින් ඔහු මේ නඩුව සදහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් වූයේ මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රදවා සිටින සැකකරුවකු වන හම්බන්තොට පදිංචි ශෂී ඩ්‍රාවින් නැමැත්තෙකි.

හඳහන් බලන බවට දැන්වීමක් නිර්මාණය කර මුහුණු පොතේ පලකර ඇති මෙම සැකකරු එම දැන්වීමට කතා කරන කාන්තාවන් රවටා ඔවුන්ගේ පින්තූර ගෙන්වාගෙන ඇති බවත්, පසුව එම පින්තූර භාවිත කර ‘ගණීකාවන් ලබාගැනීමේ පහසුකම් ඇත’ යනුවෙන් තවත් දැන්වීමක් නිර්මාණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.