මුද්‍රණ සේවකයන්ට කෝටි පහක් ගෙවා නෑ


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලියකියවිලි මුද්‍රණය කළ රජයේ මුද්‍රණාලයේ සේවකයන්ට දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 5 කට අධික මුදලක් මෙතෙක් මුදල් ලබාදී නැතැයි වාර්තා වේ.

එම මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ වූ රජයේ මුද්‍රණාලයේ සේවකයෝ 200 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් එම දීමනා නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඒ පිළිබඳව පිළිබඳව මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 22ක් පමණ තැපැල් ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන්ව ඇත .දැනට මුද්‍රණය කර අවසන් ඡන්ද පත්‍රිකා සියල්ල රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ තැන්පත් කර ඇතැයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කීවාය.

මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබා නොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කිරීමට රජයේ මුද්‍රණාලය පසුගියදා තීරණය කළේය.