(බිඟුන් මේනක ගමගේ)
දුම්වැටි මිල පාලන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න විමසීමකින් පසුව විශ්මයජනක ලෙස ලංකා දුම්කොළ සමාගමින් තමාගේ නමට ලිපියක් ලැබිණි යැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ලංකා දුම්කොළ සමාගමට රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ කිසියම් විස්තරයක් කිරීමට අවශ්‍ය බව අදාළ ලිපියෙහි අන්තර්ගත වී යැයි ද පසුව එම ඉල්ලීම එම සමාගමට සම්බන්ධ නීතිඥයකු යැයි කියන පුද්ගලයකු විසින් දුරකථනය මගින් ද කරනු ලැබී යැයි ද සුමන්තිරන් මහතා කීය.
දුම්වැටි මිල ගණන් සම්බන්ධයෙන් විස්තරයක් කිරීමට අවශ්‍ය බව එකී පුද්ගලයා කී නමුත් තමා එම ඉල්ලීම තදින්ම ප්‍රතික්ෂේප කළේ යැයි ද සුමන්තිරන් මහතා සඳහන් කළේය.
රාජ්‍ය මුදල් කාරක සභාවේදී මුදල් අමාත්‍යංශ නිලධාරින්ට කළ නියෝගයකට පෞද්ගලික සමාගමක් මෙසේ ප්‍රතිචාර දැක්වීම විශ්මයට කරුණක් යැයි කී හෙතෙම මෙම දේවල් දන්නේ කෙසේදැයි නීතිඥයකු හැටියට පෙනී සිටි පුද්ලයාගෙන් තමා විමසී යැයි ද සුමන්තිරන් මහතා අවධාරණය කර පැවසීය.
එම පුද්ගලයා ඊට නිසියාකාරව පිළිතුරක් නොදුන්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
දුම්වැටි මිල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ප්‍රතිපත්තියක් සකසා නැති බව මෙම සිදුවීමෙන් පැහැදිලි නමුත් රාජ්‍ය මුදල් කාරක සභාවේදී රාජ්‍ය නිලධාරින්ට කරන නියෝගවලට පෞද්ගලික සමාගම් හා බාහිර පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීම ඊට වඩා බරපතල කරුණක් යැයි සුමන්තිරන් මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාව බරපතල අවධානය යොමු කරන්නේ යැයි ද මෙසේ තමන්ට කළ නියෝගයට අදාළ කරුණු බාහිර පාර්ශ්ව අතට පත්වීම ගැන මුදල් අමාත්‍යංශ නිලධාරින්ගෙන් කරුණු විමසන්නේ යැයි ද සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

