මුතුරාජවෙල වගුරු ඉඩම් ගොඩකිරීම නවත්වයි


 

 

 

(කේ. බුද්ධික කුමාරසිරි)

මුතුරාජවෙල අභයභූමියේ වත්තල බෝපිටිය සහ නිල්සිරිගම ප්‍රදේශයේ අක්කර 12 කට ආසන්න වගුරු ඉඩම් ප්‍රමාණයක්  අනවසරයෙන්  ගොඩ කරමින් සිටි ස්ථාන දෙකක් වැටලීමට ශ්‍රී ලංකා  ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැටලීම් නිලධාරීන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් අද (21)  කටයුතු කර ඇත.

ප්‍රදේශවාසීන් හා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය විසින් බස්නාහිර පලාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතාට සිදු කළ පැමිණිලි මත මෙම වැටලීම් සිදු තිබුණි.

අදාල වගුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් විසින් මීට ඉහතදී  ද දැනුවත් කලද එම ගොඩකිරීම් වැළැක්වීමට ක්‍රියාමාර්ග  ගෙන නොමැති බව මෙහිදී අනාවරණය වූ බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

මෙම මුතුරාජවෙල  වගුරු ඉඩම් ගොඩ කිරීම් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත තහනම් නියෝගයක්  ලබා දී තිබියදී පවා මෙම ගොඩකිරීම් දිගින් දිගටම සිදුවන බවට කරුණු අනාවරණය වූ බවද මෙහිදී අනාවරණය වී ඇත.

වැටලීම් නිලධාරීන්ට  එම ඉඩම් හිමියන් විසින්  ඔවුන්ගේ රාජකාරිවලටද බාධා ඇති බවද වාර්තා වේ.

කාලාන්තරයක  සිට අභයභූමිය ගොඩ කිරීම හේතුවෙන් වැසි ජලය බැස යාමට නොමැතිකමින් ගම්පහ, වත්තල, කඳාන, ජා ඇල, දඬුගම, බෝපිටිය, පමුණුගම, ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර තර්ජනයට ලක්ව තිබෙන බවද මෙහිදී ප්‍රදේශවාසීන් විසින් දැනුවත් කර ඇත.