(නිමන්ති රණසිංහ)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙල මහතා නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (82151) සමීර මදුෂංඛ දිසානායක, බත්තරමුල්ලේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලකු වන කොඩිතුවක්කු ආරච්චිගේ නිශ්ශංක සහ පාර්ලිමේන්තු මුලුතැන්ගෙයි කෝකියකු වූ මාළඹේ පදිංචි පැලෑන පතිරනගේ ධනුෂ්ක සංජීව ඩයස් යන අයවලුන්ය.
මෙම සැකකරුවන් තිදෙනාම තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් අයිස් මිලදීගැනීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් මෙම නිවස කොල්ලකෑ බවට කරුණු අනාවරණය වන බවත් වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙමම සැකකරුවන් තිදෙනා මීතොටුමුල්ල ප්‍රදේශයේ එම නිවසට ගොස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එම නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නිවසේ තිබූ රිදී මුදු04ක් සහ රුපියල් 10,000ක මුදලක් කොල්ල කා ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

