මීගොඩ ව්‍යපාරිකයකුගේ කෝටි ගණනක දේපොළ උස්සලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශ රටවල් සමග සෘජුවම සම්බන්ධ වී නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියකුගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපල සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.

සොරා ගෙන යන ලද දේපල අතර කැරට් 35 කට අධික බරකින් නිල් මැණිකක් , ලක්ෂ පහළොවක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් , ටයිටෑන් වර්ගයේ කාන්තා අත් ඔරලෝසුවක්, රන් මුදු හයක්, රන් අත් පළඳනාවක් ,රිදී මුදුවක්, රුපියල් ලක්ෂ 8 1/2 පමණ වටිනා ඇමරිකන් සහ සිංගප්පූරු ඩොලර් 2100 ක් මෙන්ම හොංකොං මුදල් කිහිපයක්, ,මෙන්ම මෝටර් රථයේ ස්වයංක්‍රීය ක්‍රියා කරවනය හා විදේශ බැංකු කාඩ්පත් පහක් සොරාගත් භාණ්ඩ අතර වන බව පොලිසිය කියයි.

ඉකුත් පස් වෙනි දින ව්‍යාපාරිකයා බිරිඳ සහ දරු දෙදෙනා සමඟ සමඟ කොට්ටාව ප්‍රදේශයේ විහාරස්ථානයක දානයම පිංකමකට සහභාගී වී අනතුරුව කොළඹ ප්‍රදේශයේ සමීප ඥාතියකු වූ නිවසේ පැය කීපයක් ගත කර රාත්‍රී 12,30 ට පමන නිවසට පැමිණ තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ.

සියලුම දෙනා නින්දට ගොස් පසුදින පෙරවරු නවයයි තිහට පමණ අවදි වී ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුට අයත් බෑග් කීපයක් වෙලක් ආසන්නයේ දමා ගොස් ඇති බවත් එහි තිබූ දුරකථන අංකයකින් ඇමතුම ලබා ගත් බවත් දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යාපාරිකයාගේ නිවස නිවසට පැමිණීමෙන් අනතුරුව ඔහු සමඟ ව්‍යාපාරිකයා එම ස්ථානය කරා ගොස් ඔහුගේ නිවසේ තිබූ කාන්තා අත්බෑග් දෙක හා අනෙක් අත්බෑගය හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.

එම කාන්තා අත් බෑග් දෙක දෙවන මහලේ කාමරයක බෑග් එල්ලිම සඳහා සකස් කර තිබෙන ස්ථානයේ එල්ලා තිබී ඇති අතර අනෙක් අත්බෑගය යාබද කාමරයේ තිබී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 35ක් පමණ වටිනා නිල් මැණික තිබී ඇත්තේ කාන්තා අත් බෑගයක් තුළ දමා බවත් අනෙක් අත්බෑගයේ ව්‍යාපාරිකයාට අයත් ,බැංකු පාස් පොත් , විදේශීය බැංකු වලට අයත් කාඩ්පත් මෙන්ම තවත් වැදගත් ලිපි ලේඛන රැසක් අඩංගු ව තිබී ඇතැයි පොලිසිය කියයි.

අත් ඔරලෝසු සහ රන්භාණ්ඩ මධ්‍යම රාත්‍රියේ දී නිවසට පැමිණීමෙන් අනතුරුව පහත මහලේ මේසය මත තබා තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පැමිණි සොරුන් නිවසේ අල්මාරි සහ කබඩ් කඩා නොමැති අතර නිවසේ දෙවන මහලේ පිටුපස පෙදෙසේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි නිලධාරියකු පැවැසීය.