සිතුම් චතුරංග
ලිංගික ශ්‍රමිකයින් ලෙස තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් යූ.ආනන්දරාජා මහතා අද (12) නියෝග කළේය.
විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියදී පූවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ , ගිරිගොල්ල , ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්.එම්.කුසුමාවතී නොහොත් සඳමාලි නැමති 33 හැවිරිදි කාන්තාවක් වේ.
මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සැකකාර කාන්තාව තරුණියන් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස සුළුමුදලක් ලබාදී අලෙවිකර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තිබූ බව පූවරසන්කුලම පොලිසිය අධිකරණයට දැන්විය.
සැකකාර කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණයන් හි විවෘත වරෙන්තු ඇති බවත් එම වරෙන්තු මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පැවසීය.
සැකකාර කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙනයන විමර්ශනවලට අදාළව හා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පවත්වාගෙන යන නඩු සඳහා එදිනට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
කාන්තාව හට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඇය පසුගිය වසරේ විදේශ රටකට පළා ගොස් සිට ඇති අතර කොවිඩ් 19 වයිරස අවදානම හේතුවෙන් පසුගිය 25 වැනිදා යළි මෙරටට පැමිණ පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා පැමිණ සිට ඇති බවට අනාවරණය වී තිබේ.

