මැදමුලන නඩුවේ ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්න අභියාචනාධිකරණයට බලයක් නෑ


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම් දෙනු ලැබුවේ මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදීය.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් මෙසේද කීය.

‘‘ මෙම ප‍්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් මා මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා ඇති සිද්ධිමය කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

අවසාන සහ තීරණාත්මක අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවසාන සහ තීරණාත්මක තීන්දුවයි. එසේ තිබියදී මෙම අධිකරණයට මේ පිළිබඳ සලකා බැලීමට අධිකරණ බලයක් නැහැ. ඒ අනුව මෙම ප‍්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමිය යුතු යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම අද (07) දිනට කල් තැබිණි.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් ඉදිරිපත් කළ  මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන්  මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.

මෙම  පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක්  විශේෂ ස්ථිර  ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු පෙනී සිටියහ.