(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණය පවත්වන්නේ නම් මනාප අංක ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය හැකිදැයි සෞඛ්‍ය අංශවලින් විමසීමක් කරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
එසේ නොවුනහොත් මැතිවරණයට ඉදිරිපත් වන 7,400 කට ආසන්නන පිරිස අංක ලබා ගැනීමත් සමඟ පවතින තත්ත්වය අමතක කිරීමේ ඉඩකඩක් ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
ඡන්දය පැවැත්වෙන දිනය වන විටත් මේ සෞඛ්‍යමය ප්‍රශ්න පැවැතියහොත් කරන්නේ කුමක්දැයි යන්න ගැන පැහැදිලි අදහසක් තිබිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඡන්ද පොලකදී හැඳුනුම්පත් පරික්ෂාව ඡන්දය සලකුණු කල බවට ඇඟිලි සටහන් කිරීම ඇතුළු කටයුතු මෙන්ම පරතරය තබාගෙන ඡන්ද සලකුණු කිරීමද කළ හැකි වැඩපිළිවෙළක් තිබියයුතු යැයි ඔහු සඳහන් කළේය.
මැයි මස මුල් සතියේ සමාලෝචනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇති බවත් එසේ වුවත් මනාප අංක ලබාදීමට පෙර එම සමාලෝචනය සිදු කළ යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.

