මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි 103ක්


(ඩයනා උදයංගනී)
         
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 103ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.

මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්, එනම් පැමිණිලි 96ක්  නාම යෝජනා භාර දුන් ඊයේ(07) දිනයේ වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පැවසීය.

පූර්ව නාම යෝජනා සමය තුළ වාර්තා වී ඇති පැමිණිලි ප්‍රමාණය 7කි.

මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් දක්නට ලැබුණු බව කී සුරංගි අරියවංශ මහත්මිය අපේක්ෂකයින් තිදෙනෙකුගේ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබුණු බව ද කීවාය.

මීට අමතරව ප්‍රදේශ රැසක අපේක්ෂිකයින්ට සුභ පැතුම් එක් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ඉදිකර ඇති බවත් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත් ඇය සඳහන් කළාය.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ දී එක් අපේක්ෂකයෙකුගේ  දැන්වීමකට කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් ද වාර්තා වී ඇතැයි ඇය පැවසුවාය.